2016 ලෝක කම්කරු දිනය, එනම් මැයි දිනය එළඹී ඇත්තේ ලොව පුරා ශ්‍රම වෙළදපළේ ව්‍යුහීය ප්‍රතිසංස්කරණ මගින් වැඩ කරන ජනතාවගේ සාමුහික කේවල් කිරීමේ අයිතිය බරපතල තර්ජනයකට ලක්ව ඇති තත්ත්වයක් යටතේය. මෙම ව්‍යුහීය ප්‍රතිසංස්කරණ එක් එක් රටවල විවිධ උපක්‍රම හරහා ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන අතර වෘත්තීය සමිති දුර්වල නැතහොත් අක්‍රියාකාරී රටවල මෙම ප්‍රතිසංස්කරණ ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලෝක කම්කරු සංවිධානය (ILO) ප්‍රමුඛ ධනපති ආණ්ඩුවලට හා ධනපති සමාගම්වලට ලැබී ඇත.
වෘත්තීය සමිතිවලට හොරෙන් හා ඒවායේ නිසි සහභාගිත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ කම්කරු නීති හා රෙගුලාසි වෙනස් කිරීම සදහා ලෝක කම්කරු සංවිධානය හා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගන්නා ලද උත්සාහයෙන් පෙන්වන්නේ, “ ලෝක කම්කරැ සංවිධානය“ ඉතා පැහැදිලිවම ධනපති පංතියේ ඕනෑ එපාකම් වෙනුවෙන් විවෘතවම ක්‍රියා කරන බවයි.
මෙම කම්කරු නීති ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරුද්ධව ප්‍රංශයේ කම්කරුවන් සහ ශිෂ්‍යයන් ගෙනයන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ නොමැකෙන සිහිවටනයක් බවට මෙවර පැරීසියේ පැවැත්වෙන මැයි දින පෙළපාලිය ඉතිහාස ගතවනු ඇත. එම විරෝධතා ව්‍යාපාරය ඉදිරියට ගෙනයමින් මැයි 3 දා, එනම් නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ, මුළු ප්‍රංශය පුරාම හැම නගරයකම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනු ඇත.
ලෝකයේ ණය අර්බුදය තියුණු වෙමින් පවතින අතර රැකියා විරහිතභාවය වැඩිවීම හා වැඩ කරන ජනතාව රැකියාවලින් දොට්ට දැමීම අඛණ්ඩව සිදුවෙමින් පවතී. මෙම තත්ත්වය ලෝකයේ දියුණු යයි සලකන රටවල ශක්තිමත් වෘත්තීය සමිතිවලට තිබූ සාමුහික කේවල් කිරීමේ හැකියාව දුර්වල කිරීමටද හේතුවී ඇත.
බටහිර යුරෝපය ඇතුළු සංවර්ධිත ධනපති රටවල ආර්ථික වර්ධනය ඇණ හිටීම හා රැකියා විරහිතභාවයත්, එම රටවල් විසින් මැදපෙරදිග ඇතුළු ආසියාවේ හා අප්‍රිකාවේ ගෙනයනු ලබන දිගුකාලීන හා අමානුෂික යුද්ධය නිසා නිර්මාණය කර ඇති දේශපාලන සරණාගතයන් පිළිබද ගැටළුවත්, සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාවට ත්‍රස්තවාදී ප්‍රහාර නිසා එල්ලවී ඇති තර්ජනයත්, ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් පුරා අනුගමනය කරමින් ඇති විනාශකාරී ධනපති නිශ්පාදන පිළිවෙත් නිසා ලෝකයේ ස්වභාවික පරිසරයට කරන ලද විනාශයේ ප්‍රතිඵලයක් වශයෙන් මතුවී ඇති පාරිසරික ප්‍රශ්නත්, වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේම, එනම් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම පිළිබද අවිනිශ්චිත බවක් මෙන්ම සමාජ භීතියක්ද ජනිත කර ඇත. මෙම ප්‍රශ්නවලට විසදුම් සෙවීම වෙනුවට ලොවපුරා ජනතාව, ජාතික, ආගමික හා වාර්ගික වශයෙන් එකිනෙකා කෙරෙහි සැක කරන හා අවිශ්වාසය ඇති කරන මනෝමූල තත්ත්වයක් ධනපති දේශපාලකයන් හා ධනපති මාධ්‍ය ආයතන හරහා ගොඩනගමින් ඇත.
ප්‍රාග් ධනයේ ඓෟන්ද්‍රීය සංයුතිය, එනම් යන්ත්‍රසූත්‍ර හා නවීන තාක්ෂණය නිශ්පාදනය සදහා වැඩි වශයෙන් යොදා ගැනීම නිසා ධනපතියාගේ ලාභ අනුපාතය අඩුවීම දිගින් දිගටම සිදුවීමේ ධනේශ්වර නිශ්පාදන ක්‍රමයේ ප්‍රතිවිරෝධය නිසා ධනපති ක්‍රමය ගැඹුරු අර්බුදයකට ගමන් කරමින් සිටියි. මෙම අර්බුදය විසදීමට ලෝක ධනපති ක්‍රමය උත්සාහ කරනුයේ ශත වර්ෂ දෙකකට වැඩි කලක් කම්කරුවන් ජීවිත පරිත්‍යාගයෙන් හා විවිධ දුක් වේදනා විදිමින් කරන ලද අරගලයන් හරහා දිනාගත් අයිතීන් නැවත උදුරා ගැනීමෙන් හා එමගින් කම්කරුවන් වැඩි වැඩියෙන් සූරාකෑමට හැකි වාතාවරණයක් ගොඩනැගීමෙනි.
“ශ්‍රම වෙළදපලේ ව්‍යුහීය ප්‍රතිසංස්කරණ “ නමින් හදුන්වන මෙම උපක්‍රමය මගින් කාර්මික සම්බන්ධතා අංශයන් අකර්මන්‍ය කරනු ලබන අතර එක් එක් රටවල පවතින කාර්මික සම්බන්ධතා ක්‍රමයන් සම්පූර්ණයෙන් අවුල් සහගත තත්ත්වයකට ඇද දමනු ඇත.
වෘත්තීය සමිති බල මණ්ඩල හා ස්වාමි සම්මේලන අතර ඉහළ මට්ටමෙන් පවතින සාමුහික කේවල් කිරීමේ හැකියාව අවම කිරීමත්, තනි තනි ස්වාමියා හා සේවකයා අතර සිදුවන එකගතාවයන් හරහා ( Single employer bargaining) සේවයේ යොදා ගැනීමට හැකි ආකාරයට නීති රෙගුලාසි ලිහිල් කිරීමේ ව්‍යවස්ථාමය පියවර ඒ ඒ රටවල ආණ්ඩු මගින් ගැනීමට දැනටමත් යුරෝපයේත්, ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලත් උත්සාහය වී ඇත.
යුරෝපයේ වැඩ කරන කාලය වෙනස් කිරීමට ගෙන ඇති උත්සාහයන් හදුන්වනුයේ “ 21 වන ශතවර්ෂය තුළ වැඩ කරන වේලාව සංවර්ධනය“ ( Working time developments in the 21st century) යනුවෙනි. මෙයට හේතු වශයෙන් දක්වනුයේ ජනවිකාස විපර්යාසයන් හා නව තාක්ෂණයේ ස්වභාවය නිසා ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණදීම සදහා යනුවෙනි. මෙම ප්‍රශ්නය හොදින් පැහැදිලි වනුයේ ප්‍රංශයේ මේ වන විට මතුවී ඇති තත්ත්වයෙනි. ලෝකයේ පැය 7 වැඩ කරන දිනයක් හා පැය 35 වැඩ කරන සතියක් කම්කරුවන් දිනාගෙන ඇති එකම රට ප්‍රංශය වන අතර එම අයිතිය ලැබුණේ මීට දශක කිහිපයකට පෙර ප්‍රශයේ ජනාධිපතිවරයකුවූ ප්‍රාන්සුවා මිතරොන් මහතාගේ සමාජවාදී පක්ෂයේ ආණ්ඩු පාලන කාලයේදීය. අද එම සමාජවාදී පක්ෂයේම ජනාධිපතිවරයා වන ප්‍රාන්ෂුවා හොලන්ඩ් කම්කරු අයිතීන් සහ රැකියා සරක්ෂිතභාවය නැති කිරීමට උත්සාහ ගනිමින් ඇත. මේවා අතර පාලකයන්ට පහසුවෙන් සේවකයන් රැකියාවලින් නෙරපීමට ඉඩදීම හා ස්ථිර රැකියා සදහා කෙටිකාලීන කොන්ත්‍රාත්තු මත සේවකයන් බදවා ගැනීමට අවසර දීමද ඇතුලත්ය. මේ නිසා ඉතා තියුණු කම්කරු හා ශිෂ්‍ය විරෝධතාවයකට වත්මන් ප්‍රංශ ආණ්ඩුව මුහුණදී ඇත.
ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ යූ.ඇන්.පී. මැයි දිනය “ කැප කරන ජනතාවගේ මැයි දිනය“ වි ඇත් තේ අහම්බෙන් නොව, අර්බුදයට යමින් ඇති ලංකාවේ ධනපති ආර්ථිකය කම්කරුවන්ගේ ලේ, දහඩිය හෙලමින් කරනු ලබන සූරාකෑම හරහා ගොඩ ගැනීමේ උත්සාහයයි.
කෙසේ වෙතත්, මෙලෙස කාර්මික සම්බන්ධතා බිද වැටීම හාම්පුතාලාට පවා අසතුටුදායක ලෙස බලපාන තත්ත්වයක් මතුවී ඇත; එනම්, මෙවැනි කඩා වැටීමක් මගින් නිශ්පාදන හා සේවා ආයතනවලට දෛනිකව (Day to-day basis) කම්කරුවන් බදවා ගන්නාවූ දිනපතා සිදුවන කේවල් කිරීමක් දක්වා වර්ධනය වීමෙන් අඛණ්ඩ නිශ්පාදනයක් පවත්වා ගැනීමට නොහැකිවීමයි.
එලෙසම සාමුහික ගිවිසුම් ක්‍රමය කඩා වැටීම නිසා සමහරක් කොම්පැණිවලට අඩු වැටුපට වැඩ ගන්නා අනිකුත් කොම්පැණිවලින් තියුණු තරගයක් ඇතිවීම නිසා වැඩපළවල් තුළ හා ඒවා අතර අර්බුදකාරී තත්ත්වයන් වර්ධනයවීමට හේතුවී ඇත. කොම්පැණිවල හාම්පුතාලාට කම්කරුවන් සමග එකගතාවයන්ට ඒම දුෂ්කර කාර්යයක් බවට පත් කර ඇත.