නායා යාමේ අනතුරට ලක්වන වැඩකරන ජනතාව

අප සැමට ජීවත්වීමට ඉතාම සුදුසු කාලගුණික පරිසරයක්ද, ඇති තරම් ඉඩකඩක්ද, ගහකොල, සතා සිව්පාවා සහිත ස්වභාවික සම්පතින් අනුනවද,  සැමට වසවිස නැති ආහාර පාන පලතුරු ඇති තරමි නිපදවිය හැකි ඉඩකඩක්ද, ශ්‍රී ලංකාව දූපතක් ලෙස නිර්මානය වූ කාල දවසේ සිට අපට උරුම විය. 

බටහිර ආක්‍රමණ හා වානිජ බෝග වගාවන් ජන ජීවිතය උඩුයටිකුරු කරනු ලැබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1880න් පසුව ආරම්භ කරනු ලැබූ තේ වගාව නිසා මුලු කඳුකරයේම ස්වභාවික පැවැත්මද, ස්වදේශීකයින්ගේ ජන ජීවිතයද වියවුලකට පත් කරනු ලැබුණි. 1948 නිදහසින් පසුවද අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඇති කරනු ලැබූ ක්‍රියාමාර්ග නිසා පොදු ජනතාවට අදටත් ගැලවුමක් නැත.

1871 සංඛ්‍යාලේඛන වලට අනුව වානිජ භෝග සඳහා ඉන්දියාවෙන් ගෙන්වනු ලැබුණු ජනගහනය 1,23,000ක් පමණ විය. ඔවුන් වගාවන් පැතුරුණු දිස්ත්‍රික්ක 8 ක පමණ ස්ථානගත කෙරුනි. එම ජනගහනය  අදාල දිස්ත්‍රික්කවල ස්වදේශ ජනතාව සමඟ සසඳන කළ 11.84%කි. 1931 වන විට මෙම ජනගහනය 8,00,000 කි. ප්‍රතිශයක් ලෙස 3.5% පමණද විය.  2011 සංඛ්‍යාලේඛන අනුවද මෙම ජනගහනය  ලක්ෂ අටක් පමණ වූ අතර මුලු ජනගහනය සමඟ සසඳන කල 4.12% ක ප්‍රතිශතයක් නියෝජනය කරයි.

ස්වදේශීක වැසියන් අධිරාජ්‍යවාදීන්ගේ තේ වතුවල බැල මෙහෙවර කිරීමට අකමැති වීම නිසා ඔවුන් කඳුකරයේ පහල නිම්න ප්‍රදේශවලට එලවා දැමුනු අතර, ඉන්දියානු කම්කරුවන්  පදිංචි කරනු ලැබුවේ වගාවට අහිතකර කඳු බෑවුම්වල ලැයිම් කාමර පේලි වලය. ඔවුන්ට ගෙවූ අඩු වැටුප, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, අහාරපාන, මගී ප්‍රවාහන ඇතුලු ජනජීවිතයේ අඩුම පහසුකම් සහිත ශ්‍රම වහලූන් පිරිසකගේ තත්වයෙන් වතුකම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑම  සිදුවිය.  එම ක්‍රියාපිලිවෙත නිසා අධිරාජ්‍යවාදීන් පමණක් නොව ඔවුන්ගේ ලාංකික ඒජන්තයන්ද පොහොසතුන් විය. සේවක අයිතිවාසිකම් දිනාගැනීමට සටන් වැදුනු  වතු සමිති නායකයෙක් වූ ගෝවින්දන් සහෝදරයා මුල්ඔය වත්තේදී සුදු පාලකයින්ගේ වෙඩි උන්ඩයෙන් බිමහෙලා 1940දී යටත් කෙරුණි. නිදහසින් පසුව ද වතුවල තත්ත්වය වෙනස් නොවුන අතර 1972 වතු පවරා ගැනීම නිසා  ලාංකික ගැමියන්ට ඉඩකඩම් යම් ප්‍රමාණයක පදිංචිවීමට ඉඩකඩ ලැබුණි. 1987දී 13 වෙනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් සියලූ වතු කම්කරුවන්ට පුරවැසිභාවය හා ඡන්ද බලය ලැබීම විශාල ජයග්‍රහනයක් විය. එහෙත් ඔවුනගේ හිසමත පැටවූ විපත්කාරි කඳුබෑවුම්වල ලැයිම්කාමර ජීවිත ගෙවීමට බලකෙරුණු ‍ඓතිහාසික කරුමය අද වන තෙක් වෙනස් කළ නොහැකි විය.

ගස්කපා කඳුකර ප්‍රදේශ තේ වගාවට එලි කිරීම, වතු කළමනාකරණය චන්ද්‍රිකා ජනපති සමයේ පුද්ගලික අංශයට පැවරීමෙන් පසුව කඳු ප්‍රදේශවල වනගහනය කපා වතු පාලකයින් විසින් විකුණා ගැනීම. වැලි, පස් හැරීම මැණික් හා වර්ණවත් පාෂාන ගලවා විකිනීම, කඳු ආශ්‍රිව සිදුවන ගල් කැඩීම, හා බැකෝ යන්ත්‍ර මගින් කඳු ආසන්නයේ හැරීම්  ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා විපත් කැඳවා ගනිමින් තිබේ. රජයක් නැත. නීති රීති නැත. ධනය හා ලාභය සෙවීම එකම අරමුණ ලෙස සියලූ දේ වනසමින් පොහොසත් වීමට සුලු පිරිසකට ඉඩ ලැබෙන අතර බහුතර ජනතාව විපතට හා ඛේදවාචකයන්ට මුහුණ දෙමින් සිටී.

ඊනියා සංවර්ධන මාවත හා පරිසර විනාසය නිසා කඳු පැලී පිපිරි නායා යමින් ගම්බිම් යටවෙමින් තිබේ. වර්ෂා ජලය එකවිට ගංගාවන්ට එකතුවීම නිසා ජලගැලීම් එමටය. ගංගා නිම්න ආශ්‍රිතව ජලය බැසයන මාර්ග අවහිර කර තැනූ ගොඩනැගිලි ජලය බැසයාමට බාධකයක්ව පවතින අතර පොලව ගිලා බැසීම්ද  සිදුවේ. කුණු කඳු ගැසී පිටාර ජලය සමඟ මුසුවීම නිසා පහත් බිම්වල ජනතාව නරකාදියක ජීවත්වීමට නියම කර තිබේ.  අනතුරුදායක පෙදෙස්වල ජීවත්වන සියලූ ජනතාවට ඛෙදා දිය හැකි ආරක්ෂිත රාජ්‍ය ඉඩම් එමටය. වගාවන් හා පාලකයින් ආරක්ෂිත බිම්කඩවල ස්ථානගතව සිටින අතර වැඩකරන ජනතාව  හා දුගී ගම්වැසියන් අනතුරට භාජනය වෙමින් තිබේ. මෙම අසාධාරණය අවසන් කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩම් ප්‍රතිසංස්කරණයක උවමනාව හා අධිරාජ්‍යවාදීන්ට යටත් නොවන රටට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීම වැඩබිම ගොවිබිම වෙලාගත් ප්‍රමුඛ ප්‍රශ්ණයක් වී තිබේ.

තිලක්

2016-06-07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *