හොද සමාජයක් පිළිබද විශ්වාසය හා බලාපොරොත්තුව අපට අවශ්‍යය!

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස අපට මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ගෝලීයකරණයේ පීඩාවට පත් සුදු කම්කරුවන් හා කලු කම්කරුවන් අතර එක්සත් කමක් හදන්නේ කෙසේද යන්නය. එදා මාක්ස්වාදී දර්ශණයෙන් කළ එම එක් කිරීම වර්තමානයේ කළ නොහැකි විෂය බද්ධයකට ලොව පුරා වාමාංශිකයින් මුහුණ දෙමින් සිටී.

මාක්ස් දුටු ලෝකයේ ප්‍රාග්ධනය සමග ගැටෙන ශ්‍රමිකයෝ සමූහයක් කර්මාන්තශාලා ගතව සිටියෝය. එකවහලය යට වැඩ කිරීම නිසා වර්ගවාදය බිඳ දමා සාමුහිකත්වය වර්ධනය කිරීමට හොඳ පසුබිමක් සැකසුනි. අද තත්ත්වය හාත්පසින්ම වෙනසකට ගමන් කර ඇත. ශ්‍රමිකයින් විසුරුන අවකාශයක අනාථව සිටී. වඩාත් තමන්ට ආසන්න පවුල, ගම, ජන වර්ගය, ආගමික මධ්‍යස්ථාන මුල් කර ඔවුන්ගේ හැසිරීම් හා සාකච්ඡාවන් ඒකරාශී වී තිබේ.

කාර්මික විප්ලවය පදනම් කරගත් ප්‍රාග්ධනය දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව මුල්‍ය ප්‍රාග්ධනයක් බවට පත් වෙමින් ධනවාදී ලෝකය මෙහෙවූ මධ්‍යස්ථාන එක් කල අධිරාජ්‍යවාදයක් බවට පත් විය. සරලව අපි ඇමරිකානු අධිරාජ්‍යවාදයක් ගැන කථා කලේ ඒ අනුවය. තොරතුරු තාක්ෂණික විප්ලවය මුල්‍ය ප්‍රාග්ධනයත් සමග එක් වෙමින් ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ නිම නොවූ බොහෝ දේ ලොව පුරා ඉටු කරන සාධකයක් බවට පත් විය. තවදුරටත් බර්ලින් තාපයකින් සීමා පැනවිය නොහැකි වූ අතර යකඩ තිර රෙදි විවර කර රුසියානු විප්ලවයේ ප්‍රාතිහාර්යයත් සොවියට් සමාජවාදී සමූහාන්ඩුවේ දැවැන්ත බලයත් සුනු විසුනු කරමින් තොරතුරු තාක්ෂණය සමග එක්වූ මූල්‍ය ප්‍රාග්ධනය දිගු ගමනකට අවතීරණය විය. සිත්තමකට මෙන් කියුබාවත්, උතුරු කොරියාවත් රතු ලකුනින් සැරසුනි.

සමාජවාදයේ අවසානය බව පුකියමා ඇතුලු ධනපති විද්වතුන්  ලොව පුරා හඬ නගන විට රුසියාව ජාතිකවාදී පුටින් කෙනෙක් බිහි කලේය. චීන කොමියුනිස්ට් පක්ෂය දොරටු විවර කර අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් වැල‍්ඳ ගෙන ලෝක වෙලඳ පොලට පිවිසෙන විද්යුත් කාඩි පත හා මුර වචනය භාවිතයට නැඟවේය. නොසිතූවිරූ ලෙස චිීන නිෂ්පාදන ලොවපුරා ගමන් කළ අතර අතර වෙලද වාසිය චීනයේ ගොඩ ගැසෙන්නට විය. එය ප්‍රතිආයෝජනය නිසා ඇමරිකානු අධිරාජ්‍යවාදයට තර්ජනය කළ හැකි ආර්ථික දැවැන්තයා ආසියාවෙන් බිහි විය. ඇමරිකානු බ්‍රිතාන්‍ය, ජර්මන්, ප්‍රංශ මූල්‍යවාදීන් නිෂ්පාදනයේ ආධිපත්‍ය හැසිරවීමේ ඊල්‍රග පියවර වූයේ මැදපෙරදිග තෙල් සම්පත් කොල්ල කෑමේ යුද්ධය දියත් කිරීමය. එය දිමි කූඩය ඇඟට කඩා වැටී කඩිගුල අවුස්සා ගැනීමක් විය. ත්‍රස්තවාදයත්, සංක්‍රමණික අනාතයනුත් සංවර්ධිත ලෝකයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය හා සාමකාමී සහජීවනය විනාශ කිරීමට පැමිණි අවතාරයක් මෙන් විය. යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පසු පසට තල්ලු කරමින් දක්ෂිනාංශිකයින් සමඟ තරඟ කළ හැකි බලයක් බවට ජාතිකවාදී ප්‍රවනතා බිහිවීම ඇරඹුනි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ප්‍රධාන ප්‍රචාරක අවිය ජාතිකවාදී යුකිලිප්වරුන් සතුවිය.

2007 ඇරඹුනු ආර්ථික වටයෙන් වටය දිග් ඇදුන අතර අධිරාජ්‍යවාදී ලෝකය සුවපත් කරන බවක් පෙන්විය නොහැකි විය. ආර්ථික වර්ධනය සඳහා යුද්ධය අවියක් කර ගෙන යුක්‍රේනය හරහා රුසියාවට කඩා වැදීමට දැරූ ප්‍රයත්නය පසු බැස්වූයේ ක්‍රිමියාව අල්ලා ගැනීමෙනි. සිරියානු පාලනය පෙරලා දැමීමට ඇමරිකානු සහය ලැබූ ජාතිකවාදී ගරිල්ලා ව්‍යාපාරයට රුසියානු මිසයිල් මගින් පහරදීම ලෝකය මවිත කලේය. එය ඇමරිකානු ජාතිකත්වයට සිදු කළ කෙනහිල්ලකි. එපමණක්ද නොව චීන රුසියා 30 අවුරුදු බලශක්ති ගිවිසුම, ඒකාබද්ධ හමුදා සහයෝගිතාවය හා සේද මාවතේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ පොලන්තය දක්වා එකම බලයක් ලෙස ව්‍යාප්තවීම සිදු වෙමින් තිබේ. එපමණක් නොව චීනය විසින් ඇමරිකානු මූල්‍ය පද්ධතියට ඇතුලු වෙමින් ඒවායේ මෙහෙයුම් බලයටද බලපෑම් කරමින් තිබේ. එපමණක් නොව චිනය මුල් වූ බ්‍රික් බැංකුව දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ආධිපත්‍ය හැසිරවූ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තරඟකාරීව කටයුතු ඇරඹීය. ඉන් නොනැවතුනු චීනය ලෝක හුවමාරු මුදලක් බවට යුවානය ජාත්‍යන්තර පිලිගැනීමකට ගෙනඒම ඩොලරයේ කන හරහා එල්ල කළ දරුණු පහරක් විය. ඒවා දැනුනේ ඇමරිකානු සුදු ජනතාවගේ හදවතටය.

එබැවින් ට්‍රම්ප්ගේ මතුවීම පමණක් නොව යුරෝපයේ දියුණු ධනපති රටවල් අතුලත සිදුවිය හැකි විපර්යාෂය කුමන දිසාවක් ගනීද? එම ජාතිකවාදී දක්ෂිනාංශික බලතන්ත්‍රයන් ඒකරාශී වෙයිද? එම පිරිස් ලෝකයටම තර්ජනයක් වන ආකාරයෙන් යුද්ධ මාවතකට එලඹෙයිද?යන දේශපාලන කරුණු පිලිබඳව අවධානය යොමු කර ගත යුතුය. අනිත් අතින් ආර්ථික වශයෙන් ට්‍රම්ට තනවී ඇමරිකානු ආර්ථිකය පණගැන්විය හැකිද? චීනයේ කර්මාන්ත ඇමරිකාව තුල පිහිටුවා නිෂ්පාදන වැඩිදියුණු කළ හැකිද? සේවා කේෂ්ත්‍රය ඉක්මවා නිෂ්පාදන කේෂ්ත්‍රය ඇමරිකාව තුල ප්‍රමුඛත්වයකට පැමිනේද? මීලඟ ඩිජිටල් කාර්මික විප්ලවයේ කාර්යභාරය කෙසේ සිදු විය හැකිද? යන කරුණු පැහැදිලි තත්ත්වයකට පත් කර ගන්නේ නැතිව වමක් ගොඩ නැගීම ගැන කෙරෙන සාකච්ඡාවන් කරුවල කාමරයක සිට මාක්ස් කියවීමට උත්සාහ දැරීමක් වැනිය.

ඇමරිකාව තුල වාමවාදීන් ලෙස කටයුතු කළ බර්නි සෑන්ඩර්ස් හා ලෙප්ට් පෝරම් වැනි පිරිස් මෙය කුමන ආකාරයකින් විග්‍රහ කරයිද? බ්‍රිතාන්‍ය තුල ජෙරමි කෝබීන්ට බලයට පත්වීමට ඉඩකඩ විවරවේද යන කරුණු ජනතා ව්‍යාපාරයේ ඊලඟ වර්ධනයන් සලකා බැලීමේදී ප්‍රධානය.

ලංකාව වැනි රටවලට මෙයින් සිදු වන බලපෑම වන්නේ ආසන්න වශයෙන් බෙදුම්වාදයකට ශක්තිමත්වීමට ඉඩකඩ අඩුවනු ඇත. ත්‍රිකුණාමල වරාය ඇමරිකානු මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කර ගැනීමේ ක්ෂණික අනතුර අඩුවී යනු ඇත. බටහිර ආධාර මත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ගොඩ නැගීමේ මාවත බොඳවී යනු ඇත. නැවතත් ඉන්දියානු චීන බලතන්ත්‍රයන්ට මැදිවූ රාජ්‍යයක් ලෙස තුවාලය ඇඟේ තබා ගෙන පාරා නොගෙන දිගුකාලින ප්‍රතිකාර ඔස්සේ ගමන් කිරීමට සිදු වනු ඇත. ඉන්දියාව වුවත් ඇමරිකානු චීන වලල්ලෙන් කොටුවී යාමට ඉඩ ඇති අතර එහි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හැකි වුවහොත් කලායේ අනෙකුත් රටවලටද එයින් මහත් සහනයක් වනු ඇත.

සහෝදරත්වයෙන්
තිලක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *