ක්‍රියාකාරී ප්‍ර‍ජාතන්ත්‍රවාදයක් සදහා සමාජවාදී ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ප්‍රාග්ධනය හා නිශ්පාදනය ගෝලීයකරණයවීමේ නව යුගයක් ආරම්භ වූ අතර එය අද දක්වා පැවතී ඇත. මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය විවධාකාරවූ නිදහස් වෙළද ගිවිසුම් හරහා බල ගැන්වී ක්‍රියාවට නගා ඇත. මෙම ක්‍රියාවලියේ තවත් සන්ධිස්ථානයක් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ 9/11 ප්‍ර‍හාරයයි.  එතැන් පටන්, ලොවපුරා හමුදා මැදිහත්වීම් උත්සන්නවූ අතර විවිධ ආරක්ෂණ විධි ක්‍ර‍ම භාවිතය වැඩි විය. ජාතික ආරක්ෂාවේ නාමයෙන් සිදු කෙරෙන හිංසන ක්‍රියා සහ පරීක්ෂා කිරීම් වැඩිවීමට හේතුවිය.

මීට අමතරව, පොහොසතුන් හා දුප්පතුන් අතර පරතරය මෙතෙක් නොවූ විරූ මට්ටමකට වර්ධනයවී ඇත. සමස්ත ලෝක ප්‍ර‍ජාවම වැඩි වැඩියෙන් දේශපාලන, සමාජ-ආර්ථික මෙන්ම පාරිසරික ස්ථාවරත්වය කඩා වැටීම සහ සිවිල් අයිතීන් අහිමිවීම අත්දකින්නට පටන් ගෙන ඇත. මැදපෙරදිග පවතින වත්මන් යුද්ධයද, නව ශීතල යුද්ධයක් ඇතිවීමේ හැකියාවද, ත්‍ර‍ස්තවාදය සහ ආරක්ෂක සේවාවල අසීමිත පරීක්ෂණයන්ද, මූල්‍ය අර්බුද, දුප්පත්කම මෙන්ම යුධ සරණාගතයන්ගේ ගලා ඒමද, පාරිසරික විනාශයන් සහ ආපදාවන්ද යන සියල්ල අප ජීවත් වන මේ යුගයේ අවාසනාවන්ත සහ විනාශකාරී ලක්ෂණ වන්නේය.

මෙම සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවන්නේද? අපට මේවායේ කිසියම් රටාවක් දැකිය නොහැකිද? මේවා එකිනෙකට සම්බන්ධ නොමැති නැතහොත් සම්පූර්ණයෙන් නොසලකා හැරිය හැකි සංසිද්ධීන් වන්නේද?

මෙම සංසිද්ධීන්ගේ ව්‍යුහයන් හා සම්බන්ධතාවයන් ගැන අප අන්තර් ජාතික විශේෂඥයන් සමග කථා කිරීම තුළින් අප සියල්ලන්ගේ යහපත සදහා අවශ්‍ය වෙනස්කම් කළ හැක්කේ කෙසේදැයි විග්‍ර‍හ කරගත යුතු නොවේද?

මෙහි පහත දැක්වෙන වීඩියෝ සාකච්ඡාව කරන ලද්දේ acTVism නමින් හැදින්වෙන ජර්මනියේ මියුනිච් නගරයේ සිට විකාශනය කෙරෙන ස්වාධීන, ලාභ නොලබන මාධ්‍ය සංවිධානයකිනි. රජයෙන් හා ධනපති සමාගම්වල බලපෑමෙන් නිදහස්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය නිසා මෙම මාධ්‍ය සංවිධානය පවත්වාගෙන යන්නේ එහි ප්‍රේක්ෂකයන්ගේ හා පොදු ජනතාවගේ දායකත්වයෙනි. (ශ්‍රී ලංකාව තුළද මෙවැනි ස්වාධීන මාධ්‍යයක් අත්‍යාවශ්‍යය.)

 මෙම acTVism මාධ්‍ය සංවිධානය 2017 ජනවාරි 11 වනදා පැවැත්වූ සාකච්ඡාවට සහභාගිවූ ගත් කතුවරයෙක් හා දර්ශනවාදියෙක් මෙන්ම ජනතා ක්‍රියාකාරිකයකු වන යුගෝස්ලාවියානු ජාතික Srecko Horvat පැවසූ අදහස්වල සම්පිණ්ඩනයක් මෙහි දැක්වේ. එම සාකච්ඡාවේදී ජනතාවගේ විවිධ සමාජ ව්‍යාපාරයන් හා දේශපාලන ක්‍රියාකාරිත්වයන් වැනි කරුණු ගණනාවක් මෙන්ම, ග්‍රීසියේ හිටපු මුදල් ඇමතිවරයා වූ සහ යුරෝපීය සංගමයේ පටි තද කර ගැනීමේ පිළිවෙත්වලට හා යෝජනාවලට විරුද්ධව ග්‍රීසියේ ආණ්ඩුවෙන් ඉවත්වූ ආර්ථික විද්‍යාඥයකු වන Yanis Varoufakis සමග එක්වී Srecko Horvat ආරම්භ කර ඇති “ 2025 යුරෝපය තුළ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ව්‍යාපාරය (Democracy in Europe Movement 2025) “ ගැනද ඔහු අදහස් දක්වයි. මෙහිදී ඔහු අවධානයට ලක් කළ කරුණු වන්නේ;

  • දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලීනව වම සහ සමාජ ව්‍යාපාර අධෛර්යට පත්වී ඇත්තේ මන්ද?
  • සමාජ ව්‍යාපාර තුළ පරමාදර්ශවාදය නැතහොත් මතවාදයන් (Idealism) ඉටු කරන කාර්යභාරය කුමක්ද? සමාජ ව්‍යාපාරවල ආරම්භකයන්, සංවිධායකයන් සහ ඒවායේ ක්‍රියාකාරීන් එම මතවාදවලට සහභාගි නොවී ලැජ්ජාවෙන් කොන්වී සිටිය යුතුද?
  • ආදරයට සහ සංවේදනාත්මක කරුණුවලට (Love and Empathy) සමාජ ව්‍යාපාර තුළ තැනක් තිබේද? වඩා ගැඹුරු අයුක්තියට එරෙහිව කරන අරගලය තුළදී මෙම කරුණු සලකා බැලීම අවශ්‍ය වන්නේද?
  • 2025 යුරෝපය තුළ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ව්‍යාපාරයේ පදනම සහ ඉලක්කය කුමක්ද?
  • පාරිසරික යුක්තිය, මාංශ නිශ්පාදන අනුභව නොකිරීම සහ වාර්ගික සමානාත්මතාවය ආදී විශේෂිත ප්‍ර‍ශ්නයන් කෙරෙහි වඩාත් අඩුවෙන් අවධානය යොමුකළ යුතුද? මෙම ප්‍ර‍ශ්නවල මූලයන්ට අවධානය යොමු නොකර හුදෙක් ඒවායේ රෝග ලක්ෂණවලට එරෙහිව අරගලය කළ යුතුද? මෙම ප්‍ර‍ශ්න ඒකාබද්ධ කිරීමට හෝ ප්‍ර‍ති-ප්‍ර‍මුඛත්වයට හේතුවන්නාවූ පොදු සාධකයක් තිබේද?

මෙම කරුණු ඇතුළු තවත් දෑ මෙම සාකච්ඡාමය වීඩියෝව තුළ ආමන්ත්‍ර‍ය කර ඇත.

http://www.actvism.org/en/events/intervie-with-srecko-horvat-on-social-movements-political-activism-diem25/

අප ජීවත් වන්නේ පශ්චාත් සමාජවාදී අවධියක බව සමාජවාදය සිහිනයක් ලෙස සලකන බුද්ධිමත්හු පවසති. මෙයට උදාහරණ වශයෙන් සෝවියට් දේශය ඇතුළු “කොමියුනිස්ට් “ රටවල් ලෙස බටහිර ධනපති රටවල් හදුන්වා දුන් රටවල් යළි ධනපති නිශ්පාදන පිළිවෙත් වලට සංක්‍ර‍මණය වීමත්, යුරෝපයේ සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂවල අසාර්ථකත්වය මෙන්ම එම පක්ෂ සිය ප්‍ර‍කාශිත ප්‍ර‍තිපත්තිවලින් ඈත්වී දක්ෂිණාංශික පිළිවෙත් අනුගමනය කිරීමත් පෙන්වා දෙති.

දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් එසේ කිව හැකි නමුත් සමාජවාදී ජනතා ව්‍යාපාරය ගැන එසේ ප්‍ර‍කාශ කළ නොහැක. ඊනියා වමේ පක්ෂ සම්බන්ධයෙන් ගත්විට ඔව්හු වඩ වඩාත් දකුණට ගොස් ඇති නමුත් යුරෝපය සම්බන්ධයෙන් සලකන විට බ්‍රිතාන්‍ය, ප්‍ර‍ංශය හා ග්‍රීසිය වැනි රටවල ජනතා ව්‍යාපාරය බලවත්ව නැගී සිට ඇත.

වම අද තේරුම් ගත යුතු කරුණ වනුයේ තමන් තරුණ පරම්පරාව හා කම්කරු පංතිය ආකර්ශණය කර ගැනීමට අසමත්වී ඇති බවයි. බ්‍රිතාන්‍යයේ කම්කරු පංතිය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සදහාත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ කම්කරු පංතිය ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් බලයට ගෙන ඒමටත් ඡන්දය දී ඇත. මෙය අද “වම“ මුහුණදී ඇති බරපතල ප්‍ර‍ශ්නයකි.

මෙම තත්ත්වය තුළ “වම“ නැවත ගොඩනැගීම සදහා පෙරමුණ ගන්නා පුද්ගලයන් සලකා බැලිය යුතු කරුණු කවරේද?

  • අද අපිට වෙන කවරදාටත් වඩා වැඩියෙන් වමේ මතවාදය ගෙනයන්නන් (Utopians) අවශ්‍යයයි. මෙයින් අදහස් වන්නේ වමේ දේශපාලන දාර්ශණිකයන් අවශ්‍ය බවයි. දැන් ලොව පවතින තත්ත්වය ගැන සතුටු විය නොහැක.  අද ක්‍රියාකාරිත්වය පවතිනුයේ ස්වේච්ඡාවෙන් වැඩ කරන ස්වල්ප දෙනෙක් අතර පමණකි.
  • මහන්සිවී වැඩ කරන පැහැදිලි මනසක් ඇති පුද්ගලයන් අපට අවශ්‍යයය. මෙම අයගේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය.

එහෙත් සමහරු කියනුයේ  “මතවාදය“ ගෙන යන්නන් හුදෙක් මත දැක්වුවත්, සාමාන්‍ය ජනතාව තමන්ගේ දෛනික ජීවිතයට හිරවී ඇති බවයි. සමහර විට ඔව්හු පේස් බුක් එකේ යමක් පල කළත් එයින් කිසිවක් සිදු නොවන බවයි. මෙය සත්‍ය නොවේ. අද බොහෝ තරුණ ජනයා ලොවපුරා සිදුවන්නේ  කුමක්දැයි දැන සිටිති. ඒ නිසා ජර්මනියේත්, ප්‍ර‍ංශයේ ජෝර්ජ් පොම්පිඩුහිත්, එංගලන්තයේ සවුත් බෑන්ක්හිත් කෙරීගෙන යන විවිධ සාකච්ඡා සභාවලට සිය දහස් ගණන් ජනයා පැමි‍ණෙති. නව මත වාදවලට ඇහුම්කන් දෙති.

ඇත්ත ප්‍ර‍ශ්නය වනුයේ මෙම මතවාදවලට සහභාගිවීමෙන් පසුව ඔවුනට කළ හැකි කාර්යය වන්නේ කුමක්ද යන්නයි. වීඩියෝ ක්ලිප්ස් බැලීම ප්‍ර‍මාණවත් නැත; පේස් බුක් එකේ යමක් පළ කිරීම ප්‍ර‍මාණවත් නැත; තමන්ගේ දැනුමට යමක් කියවීම ප්‍ර‍මාණවත් නැත. අපට අද අවශ්‍ය මහන්සිවී වැඩ කිරීමයි. පුළුල් සාකච්ඡාවලින් පසුව දිනපතා සහ සතිපතා නිරන්තරයෙන් ක්‍රියාකාරීන් එක්වී ප්‍ර‍ශ්න සාකච්ඡා කිරීම, විකි ලීක්ස්, පේස් බුක් හා යූ ටියුබ් වල පළවන දෑ හුවමාරු කර ගැනීම මගින් අද ලෝකයේ පවතින විනාශකාරී තත්ත්වය වෙනස් කිරීමට ජනතාව පෙළ ගැස්වීම අවශ්‍යය.

අප අපේක්ෂා කරන දේ ඉටුකර ගැනීමට, එනම් සමානාත්මතාවයෙන් යුතු යුක්ති සහගත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක් සදහා පළමුවෙන්ම අප අතර සහයෝගිත්වය, සහෝදරත්වය හා සංනිවේදනය වර්ධනය කරගත යුතුය.

 අප අමතක කර ඇති තවත් කාරණයක් වනුයේ ආදරයයි. ප්‍ර‍ංශ විප්ලවයේදී එවකට ආදරයේ සංකේතය වූ මරී ඇන්තනෙට්ගේ පින්තූරය පාවිච්චි කළේ රජ හා රජ පවුල විවේචනය කිරීමටයි. මෙම වසරේදී 1917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයට වසර 100ක් සපිරෙන අතර එම විප්ලවය තුළ ස්ත්‍රී විමුක්තියේ සංකේතය වූයේ ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායිය. 20 වන ශත වර්ෂයේ ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීවාදිනිය වූයේ ඇයයි. ඇය ආදරයට ඇති අයිතිය ප්‍ර‍කාශ කළේය.  සම ලිංගික ජනයා සම්බන්ධයෙන් මෙන්ම, ස්ත්‍රී අයිතීන් සම්බන්ධයෙන්ද වඩා ප්‍ර‍ගතිශීලී නීති ගෙන ඒමද “ආදරය“ සම්බන්ධ කරුණු වන්නේය. එනම් “ආදරය කිරීමට නිදහස“ ඉල්ලීමයි. අද මෙම ඉල්ලීම බටහිර යුරෝපයේ විප්ලවීය ඉල්ලීමක් නොවන්නේය. එහෙත් මැදපෙරදිග හා ආසියාවේ “ආදරය කිරීමට නිදහස ඉල්ලීම“ විප්ලවීය ඉල්ලීමක් වන්නේය.

 අද අපට සමාජය වෙනස් කිරීමට හෝ යුක්තිය හා සාධාරණත්වය යළි දිනා ගැනීමට හෝ අවශ්‍ය නම් අපට “ආදරය“ද යළි දිනා ගැනීමට අවශ්‍ය වන්නේය. අප එකිනෙකාට සලකන ආකාරය නිගමනය වන්නේ ඒ අනුවය. යමකු සමස්ත සමාජයට නැතහොත් විශාල ප්‍ර‍ජා කණ්ඩායමකට ආදරය කරන්නේද යන්න නිගමනය කළ හැකි හොදම පරීක්ෂණය වන්නේ මෙයයි. මෙය තවමත් සිදු නොවන්නකි; අද පවතින ප්‍ර‍ශ්නය වන්නේ එයයි.

 ආදරය නැවත දිනා ගැනීම පිළිබද ප්‍රශ්නයට මිනිසුන් දක්වන ප්‍ර‍තිචාරය අප එකිනෙකා අතරත්, අප සමස්ත සමාජය කෙරෙහිත් කොතරම් ආදරය කරන්නේද, ලෙන්ගතුද යන්න මැනීමට ඇති කෝදුව වන්නේය. “ආදරය කිරීමට නිදහස“ නොපිළිගන්නා සමාජයක ජාතීන් අතර නියම සමගි සන්ධානයක් ගොඩනැගිය නොහැක.

 ලොවපුරා නව ලිබරල්වාදයට එරෙහිව සිදුවූ ජනතා අරගල හරහා නව දේශපාලන ප්‍ර‍වාහයක් තවම බිහිවී නැත. උදාහරණයක් වශයෙන් ග්‍රීසියෙන් ඇරඹී වත්මනේ ගෙනයන “වෙනත් යුරෝපයක්“ (Different Europe) සදහා ව්‍යාපාරය තුළ ප්‍ර‍තිඵලයක් ලබාගත නොහැකිවීම, ලතින් ඇමෙරිකාවේ අරගලවල පසු බැසීම (වෙනිසියුලාව, ආර්ජන්ටිනාව, ඉක්වදෝර් වැනි), ග්‍රීසියේ ආණ්ඩුව විශාල ප්‍ර‍ශ්නයක පැටලීම, චීනය දැනටමත් ආර්ථික බලය ලොවපුරා ව්‍යාප්ත කර තිබීම පෙන්වන්නේ ජාතික මට්ටමේ පක්ෂ දේශපාලනය තවදුරටත් ප්‍රයෝජනයක් නොමැති බවයි.

 අනිත් අතට, අවශේෂ ජනතා ව්‍යාපාර වශයෙන් ගත්විට, ඇමෙරිකාවේ මූල්‍ය වෙළදපොල පිහිටි වොල් ස්ට්‍රීට් අල්ලා ගැනීම, ඊජිප්තුවේ, ග්‍රීසිය වැනි තැන්වල බලය අල්ලා ගැනීම් හා විරෝධතා ව්‍යාපාරවලින් පසුව සිදුවී ඇත්තේ කුමක්ද? උදාහරණ වශයෙන් ග්‍රීසිය ගත්විට එහි නව ජනතා ව්‍යාපාරයක් මතුවිය. නව දේශපාලන පක්ෂයක් බිහිවිය. එය බලයට පත්විය. අවසානයේදී යුරෝපීය සංගමය තුළ ප්‍ර‍තිඵල රහිත අරගලයක යෙදී පවතින ක්‍ර‍මයට අනුගතවීමට සිදුවිය.

 ඒ නිසා ප්‍ර‍ගතිශීලී දේශපාලන ජාත්‍යන්තරවාදයක් අද අවශ්‍යය. මේ පිළිබදව වූ දෙආකාර සංවාදයක් ගොඩනැගිය යුතුය.

  • පළමුවෙන් ජනතාව අතර විහිදී ගිය දේශපාලන සංවාදයක් අවශ්‍යය. එනම් වෙන කවරදාටත් වඩා ජනතාව කෙලින්ම තීරණ ගැනීමට සම්බන්ධ වන (Direct Democracy) සෘජු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයක් අවශ්‍යය.
  • දෙවනුව, පහළ සිට ඉහලට ගලායන සංවාදයක් අවශ්‍යය. එනම් දේශපාලන පක්ෂ හරහා ජනතා නියෝජනය සිදුවන ව්‍යුහයක් අවශ්‍යය.

 ඒ අනුව මෙම අංශ දෙක ඒකාබද්ධ කරන්නාවූ ජාත්‍යන්තරවාදයක් අවශ්‍යය. සමහර වාමාංශිකයන් පවසන ආකාරයට පවතින ධනපති ක්‍ර‍මයෙන් වෙන්වී “ජාතික ස්වාධිනත්වයක්“ ගොඩනැගීමට හැකියාවක් නොමැත.  විසිවන ශතවර්ෂයේදී මතුවූ ගැටළු විමසා බැලීමේදී මෙවැනි විසදුම්වලට අද ලෝකයේ අවකාශ නොමැති බව තේරුම්ගත හැක. උදාහරණ වශයෙන් පවසතොත්, 20 වන ශත වර්ෂයෙන් උරුමවී ඇති ලෝක පරිමාණ ගැටළු වශයෙන් “සරණාගතයන් “ පිළිබද ප්‍ර‍ශ්නය, පාරිසරික අර්බුදය, නව යුද්ධයක ඇති අවධානම දැක්විය හැක. දැනටමත්, රුසියන් – යුක්රේන් දේශ සීමාවේ යුද්ධයක අනතුර මතුවෙමින් ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙතෙක් නොවූ විරූ ප්‍ර‍මාණයෙන් විශාල යුධ ආයුධ ප්‍ර‍මාණයක් දැනටමත් ගෙන්වා ජර්මනියේ ගොඩගසා ඇත.

මෙම ප්‍ර‍ශ්න ලෝකයේ ඇති කිසිම තනි රටක ආණ්ඩුවකට විසදිය නොහැකිය. ඒවා ජාත්‍යන්තර මට්ටමෙන් විහිදී ඇති ගැටළු වන්නේය. ජාත්‍යන්තර ධනවාදය දැනටමත් සමස්ත ලෝකයම වෙලාගෙන විහිදී ගොස් ඇති අතර ජාත්‍යන්තර පරිමාණයෙන් ක්‍රියාත්මක වෙති.

 මේ නිසා මෙයට මුහුණු දිය හැකි ජාත්‍යන්තර ප්‍ර‍ගතිශීලී ප්‍ර‍ති-ව්‍යාපාරයක් අවශ්‍යය; එය ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතුය. අපගේ අරමුණ විය යුත්තේ මෙයයි.

සැකසුම: විල්ප්‍ර‍ඩ් සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *