ජී.වී.ඩී. තිලකසිරි විසිනි
වර්තමාන රජය වෙළඳපොල ආර්ථිකයේ කිමිදෙමින් සිටින අතර මෙතෙක් කලක් ආරක්ෂා කර ගත් ජනතා දේපොල පමණක් නොව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් හා රැකියාද වෙළඳපොලට මුදාහැර විනාශ කිරීමේ පුද්ගලීකරණ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන සම්මත කර ගැනුනි.
මෑතකදී මේ පිලිබඳ නැවත වරක් සාකච්ඡා මතුවිය. ආණ්ඩුව ආර්ථික දුෂ්කරතාවයට පත්වීම නිසා එක් අතකින් රුපියල බිඳ වැටෙමින් පැවතීමත්, අනිත් අතින් උද්ධමනය සීග‍්‍රයෙන් ඉහල යෑමත්, ගෙවුම් ශේෂය පහත බැසීමත් යන කරුණු තුනටම ලැබෙන ජාත්‍යන්තර උපදේශය වී ඇත්තේ කොන්දේසි සහිත ණය ලබාදීමේ වැඩපිලිවෙලයි.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය බරෙන් රජය නිදහස් විය යුතුය යන පැරණි රසාංගයමය. ඒ සඳහා රාජ්‍ය බැංකු, ඛනිජ තෙල්, වරාය, ජලාපවහන හා විදුලිබල යන දැවැන්ත ජාතික ව්‍යාපාරයන් විදේශයන්ට විකුණා දමා ඩොලර් බිලියන 4ක පමණ මුදලක් ලබා ගැනීමට එම ආයතන නම් කර හමාරය. එයටම ගැලපෙන ලෙස තවත් ඩොලර් බිලියන දෙකක පමණ ණය මුදලක් ලබා දීමටද එකඟත්වයක් ලබාදී ඇති බවද සැලවේ. එයින් පෙනී යන්නේ ලෝක වෙළඳ පොලේ භාණ්ඩයක් ලෙස ජනතාවත් සමඟ මුලු රටම විකුණා දැමීමයි.
වැඩකරන ජනතා බලවේගය තැනින් තැන සටන් කරමින් ආයතනගත ජයග‍්‍රහන අත්පත් කර ගනිමින් තිබේ. විශේෂයෙන්ම රජය මර්ධනකාරි පියවරකින් ජනතා බලය පාගා දමා ඉදිරියට ගමන් කළ හැකි ආකාරයේ දේශපාලන ශක්තියක් හෝ වරමක් මෙවර ආණ්ඩුවට ලැබී නැත. දෙබිඩි ආණ්ඩුවක් හදා ගැනීම නිසා දැනට වැඩකරන ජනතා බලවේගයට එරෙහිව ව්‍යාපාරික ප‍්‍රාග්ධනය හිමි කොම්පැනි හා බැංකුකරුවන්ද එක්වෙමින් ජනතා දේපොල කොල්ලකෑමට කඩාපැනීම් කරයි. එහි පලමු මූල්‍ය කොල්ලය මහ බැංකු මගඩිය මගින් සිදු වූ අතර, වැඩකරන ජනතාවට අයිති අර්ථසාධක අරමුදලට හා ජනතාවට අයිති ලංකා බැංකුවේ තැන්පත් අවභාවිතය ගැන තවමත් තීරණයක් නැත. එම හොරුම රාජ්‍ය බලයේ ප‍්‍රධානීන් ලෙස වැජඹෙමින් සිටීම රටේ අභාග්‍යකි. එපමණක් නොව මේ නිසා එම බැංකු ජාත්‍යන්තර ප්‍රමිති තත්වයෙන් පහල දමා තිබේ. ඒ හේතුවද නිසා ජාතික බැංකු අඩු මුදලකට විදේශිය සමාගම්වලට ලබා ගැනීම එකිනෙකා පිටකසා ගන්නා ආකාරයෙන් සිදු කර ඇත.
ලාංකික රාජ්‍යයේ ස්වාධීන ආර්ථික ශක්තිය මුලූමනින්ම බිඳ දැමීම නව යටත් විජිතවාදයේ උවමනාව වී තිබේ. එනිසා ආර්ථිකයේ මූලස්ථාන සියල්ල ජනතා අයිතියෙන් ඉවත් කර විදේශ කොම්පැනි අයිතියට පවරා ගැනීමේ සටන මුවහත් වෙමින් තිබේ. එයටම රජයේ යූ.ඇන්.පී. අගමැති මුදල් ඇමති ඇතුලූ පිරිසක් වලිකයි.
හම්බන්තොට වරාය හා ඉඩම් චීනයට විකිණීමට ගත් උත්සාහය එහි එක් පියවරකි. වීරෝධාර වැඩකරණ ජනතාව වර්ජනය කර විරෝධය ප‍්‍රකාශ කිරීමත්, ජනතා නැගිටීමක් ඔස්සේ රජය පසුබැස්වීමත් නිසා සටන් විරුවන් රැසක් අත්අඩංඟුවට ගනිමින් තාවකාලික සම්මුතියක් ඇති විය. පවතින නීති රාමුව තුල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද නඩුවක් ගොනුවී තිබේ. කොළඹ වරායේද, විදුලිබල මණ්ඩලයේද උද්ඝෝෂණ ඇවිලී යමින් ඇත.
අද පවතින ප‍්‍රධාන ගැටලුව වන්නේ වැඩකරන ජනතාවගේ බලය විසිරී පැවතීමයි. එකට සම්බන්ධ වූ ජාතික නායකත්වයක් පෙනෙන්නට නැත. 80 වැඩවර්ජනයට නායකත්වය දීමට පණ්ඩිත සහෝදරයා සිටියේය. ඉන් පසුව අලෙවි මවුලානා සහෝදරයා පංති ව්‍යාපාරයේ ප‍්‍රබල සංකේතයක් ලෙස හැම විටම අරගලයකදී පාරට පැමිණ පෙලපාලිය, උද්ඝෝෂණය, වර්ජනය ශක්තිමත්කර පංති උවමනාව අනුව සමතයකට ගෙනඒමට සමත් විය. අද එවැන්නෙක් පෙනෙන තෙක් මානයක නැත. ආණ්ඩුව පැත්තේ සිටින්නේ ගොම පස් අදින වෘත්තීය සමිති කීපයක්ය. විපක්ෂයේ සිටින්නේ ආංශික දේශපාලන නායකයින්ය. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීමය. ඊට පසු ඔවුන්ටද පසුගිය වතාවේ මෙන් වැඩකරන ජනතාවගේ ප්‍රශ්ණ පාලකයින්ගේ න්‍යාය පත්‍රයෙන් පසු පසට වැටෙනු ඇත. එම තත්වය වලක්වා ගත හැක්කේ ශක්තිමත් වැඩකරන ජනතාවගේ ව්‍යාපාරයක් හා නායකත්වය ගොඩනඟා ගැනීමට හැකිවීමෙන් පමණි.
මේ සඳහා ගනු ලබන නව උත්සාහයක් ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සහයද ඇතිව ජාතික සම්පත් සුරැකීමේ වෘත්තීය එකතුවක් ගොඩ නැගී තිබේ. මතුවී තිබෙන වටපිටාවට මුහුණ දිය යුතු ආකාරය ගැන පසුගිය මාස කීපය තුල සාකච්ඡා විය. ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 02 දින දෙහිවල ජයසිංහ ශාලාවේදී වැඩකරන ජනතා නියෝජිත සමුලුවක් පවත්වීමට තීරණය කර තිබේ. එහිදි ඉදිරි කි‍්‍රයාමාර්ගයන් පිලිබඳ විවෘත මනසකින් යුතුව තීරණයන් ගතහැකි වුවහොත් එය ශක්තිමත් පියවරකි. එම එක්වීමට වැඩබිම් මට්ටමේ අනිකුත් ඒකාබද්ධ කමිටුවල වෘත්තීය නායකයින්ද එක් කර ගත හැකි වුවහොත් රජයේ පුද්ගලීකරණ සැලැස්ම පසුබැස්වීම දිනක විරෝධතාවයක් ප‍්‍රමානවත් වනු ඇත.