2024 පාර්ලිමේන්තු මැතිවරණය: විජයග්‍රාහී වාමාංශික බලයක් වෙනුවෙන් පෙල ගැසෙමු.

මැදමාවතේ දේශපාලන කඩාවැටීම නිසා ජනතාව වාමගාමීව ජාතික ජන බලවේගය වෙත ඇදී යන ආකාරය අපි කල්වේලා ඇතිව දුටුවෙමු.  2024 ජනාධිපතිවරණයට පෙර සිට අප පක්ෂය හා ජා.ජ.බ අතර සම්බන්ධයක් ගොඩනඟා ‍ගෙන එක් සන්ධානයක් හැදීමට අපි අවංකව උත්සාහ කලෙමු.  

ජනාධිපතිවරණයේදී අප පක්ෂය වෙනම තරඟ කිරීම ප්‍රායෝගික නොවන බැවින් ද ජ.වි.පෙ. සමඟ සම්මුතියක් ඇති නොවූ බැවින්ද අතරමැද පියවරක් ලෙස සර්වජන සන්ධානය ගොඩනැගීමට දායක විය. එමගින් 1977න් පසුව ඇරඹි පරාධීන මාවතින් රට මුදවා ගැනීම සදහා අපගේ යෝජනාද ඇතුලත් කර වාමාවාදී වැඩපිලිවෙලක් සකස් කර ජනගත කලෙමු. 

ජනාධිපතිවරණ ඡන්ද ප්‍රථිපලය සමග බහුතර ජනතාවගේ වාමගාමි නැඹුරුව ඉතා මැනවින් දිස්විය. අප සර්වජන සන්ධානයෙන් වෙන්වී පාර්ලිමේන්තු ඡන්දයට මැදිහත්වීමට කල්පනා කලේ වාමාංශික මතවාදයක් අවදි කර ගැනීමට හා වාමාංශික සන්ධානයක් ගොඩනඟා ගැනීමටය. අප පක්ෂය මැතිවරණ වලදී අනිවර්යයෙන්ම තරග කරන්නේ අපගේ දේශපාලන අදහස් ඉදිරියට ගෙනයාමටත් පක්ෂයේ  පැවැත්ම වර්ධනය කර ගැනීමටත්ය.
අද මතුවී ඇති සමාජ දේශපාලන හා ආර්ථික අර්බූදයට වාමාංශික වැඩපිලිවෙලකින් මුහුණදීම හැර වෙනත් මාවතක් නොමැත. එබැවින් මෙම ආණ්ඩුව ආරක්ෂා කරමින්  ඉදිරි ඡන්දයෙන් පත්වන වාමගාමී ආණ්ඩුව සමග සන්ධාන ගතවීමෙන් ජනතාවාදී වැඩපිලිවෙලක්  ඉදිරියට ගෙනයාම අත්‍යාවශ්‍ය කරුණකි,
අප පක්ෂය ජනතාවට බලයක්, ජන ජීවිතයට සහනයක්, සහජීවනයෙන් බැඳුනු ලාංකික සමාජයක්, කිසිදු විදේශ බලයක‍ට යටපත් නොවෙන අදීන වූ ශ්‍රී ලංකාවක් හා සමාජවාදී අනාගත අභිලාශයන් මුල් කර ගෙන කටයුතු කරනු ලැබේ. ජනතාවට බලය පවරාදීම සදහා ගනු ලබන පියවර වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති කරනු ලබන ව්‍යුහාත්මක පරිවර්තනයයි. එය එක් අතකින් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීමක්ද වේ. මෙම ක්‍රියාමාර්ගයන් ඉදිරියට ගෙනයාම සඳහා අපගේ අපේක්ෂකයින්ට ඡන්දය ලබා දෙමින් ඔවුන්ව පත් කර ගන්නා මෙන් මෙයින් ඔබ සැම වෙත ආයාචනය කරමු.
ලොවපුරා අද මැදමාවතේ ‍ඓතිහාසික කාර්යභාරය අවසන්ව ඇත. ලතින් ඇමරිකානු රටවල් ගනනාවක ජනතාව බ්‍රසීලයේ ලුලා ද සිල්වා වැනි වාමගාමී නායකයන් බලයට පත් ‍කර තිබේ. ඩොලරයේ ආධිපත්‍ය බිඳවැටෙමින් වෙනත් රටවල මුදල් ජාත්‍යන්තර ගනුදෙනුවලට යෙදවමින් ඇත. බලවත් රටවල් ගණනාවකින් සැදුම්ලත් බ්‍රික්ස් (BRICS) සංවිධානය  සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ශක්තිය ලබාදීම සදහා ඇති කර ගනු ලැබූ ගෝලීය එකමුතුවකි. එය ඉදිරි ලෝක දේශපාලන – මුල්‍ය බල කේන්ද්‍රයක් ලෙසට හැඩගැසෙමින් තිබේ.
දකුනු ආසියානු කලාපයේ නේපාලයෙන් පසු ශ්‍රී ලංකාවේ පලමු වරට වාමාංශික නායකත්වයක තනි බලයක් ලෙස ජනාධිපතිවරයා හා නව ආණ්ඩුව පත්විය.  මැදමාවත පවාදුන් සියලු දෙනා විවිධ කණ්ඩායම් ලෙස දකුණට ඇදී ගමන් කරයි. මෙවර මහ මැතිවරණයෙන් වාමාංශික රජයක් බලයට පත්වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකිය. සියලු දක්ෂිනාංශක බලය ඒකරාශී වෙමින් සූදානම් වන්නේ  ආණ්ඩුවට එරෙහි තර්ජනයක් සංවිධානය කිරීමය. සජිත්ගේ ස.ජ.බ.ත්, පොහොට්ටුවේ පිරිසත්, ගෑස් සිලින්ඩරයට වටවූ පිරිසත් ඉටු කරන්නේ එයයි. එබැවින් අපගේ කාර්යභාරය වන්නේ වාමාංශික හා අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී බලමුලු ඒකරාශී කරමින් වාමගාමි ජනතා බලපවුරක් ගොඩනැගීමය. එමගින් වාමාංශික ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීම හා ජනතාවාදීව පෙරට ගෙනයාම ජනතා උවමනාව වන්නේය.
ජනතාව 1994දී චන්ද්‍රිකා බලයට ගෙන එමින් වමට නැඹුරු ආණ්ඩුවක් හැදීමට උත්සාහ කලත් ඇය දකුණට හැරුනි. වතුකරය ඇතුලු ජනතා දේපොල නොනැවතී පුද්ගලීකරණය කලාය. ඇයට විරුද්ධව ජනතාව 2005 ඡන්දයෙන් මහින්ද බලයට පත් කර ගෙන පුද්ගලීකරණය නවත්තා ෂෙල් ගෑස්, වරාය, රක්ෂණය, සීනි කම්හල නැවත ජනතා අයිතියට පවරා ගැනුනි. 30 අවුරුදු යුද්ධය කෙලවරකට ගෙනඑමින් නිමා කලේය. නමුත් දෙවනවර 2010 දී මහින්ද බලයට පැමිණ එකඟත්වයන් බිඳගෙන නව ලිබරල්වාදී මාවතට යටත් විය.  ජනතාව විසින් මහින්ද පරාජය කලේ එම හේතුව නිසාය.
2015 දී පිහිටවූ මෛත්‍රි-රනිල් යහපාලන ආණ්ඩුව බටහිර බලවේග විසින් මෙහෙයවන බව ජනතාව කෙටි කලකින් දැන ගත්හ. එම රජයද නව ලිබරල්වාදයට යටපත්වී රාජ්‍ය දේපොල පුද්ගලීකරණය කිරීමටත්, ජාතික ස්වාධීනත්වය විනාශවී යන ආකාරයෙන් විදේශ හමුදා රටතුලට කැඳවා ගැනීමටත්, කෘෂි ඉඩම් බහුජාතික සමාගම්වලට පවරාදීමටත්, සූදානම්වීම නිසා ජනතාව එම රජයද පරාජය කලේය.
2016 දී මහින්ද නැගිටුවා පෙරට ගැනීමට ජනතාව පෙලගැසුනේ යහපාලන ආණ්ඩුව පරාජය කිරීමේ බලවත් උවමනාව නිසාය. 2019 දී ගෝඨාභය පත්වූයේ මැද මාවතේ වමට බර  ජනතා බලවේගයේ ජයග්‍රහණයක් ලෙසය. නමුත් සිදුවූයේ මුලපටන්ම දකුණට බර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමය. එහි මූලිකයා වූයේ බැසිල් රාජපක්ෂය. එම රජය පුද්ගලීකරණයට ඉඩකඩ සැලසෙන ලෙස කටයුතු කිරීමට සැරසීම නිසා  එයට විරැද්ධ වූ ඇමතිවරුන් නෙරපා හැරුනි. එසේම අපගේ අමත්‍ය සහෝදරයා  අමාත්‍ය මණ්ඩල රැස්වීම් වර්ජනය කර එම රජයෙන් ඉවත් විය. ඉන්පසු ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බූදය තියුණුවීමත්, රජයට විරුද්ධව ජනතා උද්ඝෝෂණ පැතිරයාමත් සිදු විය.   මර්ධනය නොතකා ජන අරගල මාවතින් ජනතාව පාරට පැමින, රාජපක්ෂ පාලනයද මැති ඇමතිවරුද එලවා දමන ලදි.
ජනතා නැගිටීමෙන් පසුව මැදමාවතේ නායකයින් රනිල්ගේ නායකත්වය යටතේ එකම  දක්ෂිනාංශික ගොනුවක් බවට පත් විය. මොවුන් සියලු දෙනා එක්ව ලහි ලහියේ රට බංකොලොත් වූ බවට ප්‍රකාශ කරමින් රාජ්‍ය දේපොල සියල්ල විකුණා දැමීමටත්, පොදු මහජනතාවට උසුලා ගත නොහැකි බදු බරක් පැටවීමටත්, ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකින් ඉහල දැමීමටත්, අර්ථසාධක අරමුදල ඇතුලු ජනතා සම්පත් කොල්ලකමින් ජා.මු.අ. සමග ගිවිසුම් ගතවිය.  කඩිමුඩියේ නීති අණපණත් සම්මත කර මුළු රටත් ජනතාවත් විපතට හෙලන ලදි. එබැවින් ජනතවාදී වාමාංශික බලයක් ගොඩනැගීම සදහා වහ වහා පෙරමුණ ගෙන ජා.ජ.බ ආණ්ඩුව ආරක්ෂා කර ඉදිරියට ගෙනයාම සඳහා ක්‍රියා කල යුතුය. මෙවර මහ මැතිවරණ සටන හා ඉදිරි ජනතා සටන් සිදුවන්නේ වම – දකුණ  කඳවුරු දෙක අතර තිබෙන්නා වූ බල පොරයක් ලෙස බව වටහා ගත යුතුය.
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු පිහිටුවන ජයග්‍රාහී වාමාංශික රජයට ව්‍යවස්ථාව වෙනස් කිරීමද, ජනාධිපති බලය නැති කිරීමද, ඡන්ද ක්‍රමය වෙනස් කිරීමද, ජනතාව සතු දේපොල අයිතිය සුරැකීමද, සුභසාධනවාදී රාජ්‍ය රටාව ආරක්ෂා කරමින් සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය සම්පත් යෙදවීමද ආදී වශයෙන් අභියෝග රැසකි.
එසේම rcfha ixLHd f,aLk wkqj isõ fofkl=f.ka hq;a mjq,lg wjYH udisl úhou පියවා ගැනීම සඳහා remsh,a tla ,laIhl පමණ ආදායමක් සොයාදීමට පියවර ගැනීම අවශ්‍යය.  අල්ලස, දූෂණය, කොමිස් ගැනීම මුලුමනින් තුරන් කිරීම, රටෙන් පිටට ගෙන ගිය විදේශ සම්පත් නැවත රට තුලට ගෙන ඒම හා මුල්‍ය අපරාධකරුවන් සොයා අපරාධ නීතිය යටතේ නඩු පැවරීම, ජාතීන් අතර එක්සත්කම ඇති කර එකම ලාංකේය ජාතියක් ගොඩනැගෙන දිසාවට ගමන් කිරීම, නවීනත්වය එක්කරගත් දියුණු ශ්‍රී ලංකාවක් නිර්මානය කිරීමේ විප්ලවීය කාර්යභායට අපි සැවොම උරදී සිටිමු.
එබැවින් අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන්, වාමාංශිකයින් හා ප්‍රජාතන්ත්‍රවාදීන් ජනතාවාදී වාමාංශික  ජන බලය සමග එක්ව පුලුල් වාමාංශික එක්සත්කමක් ගොඩනැගීමට අවශ්‍ය බව අපි යෝජනා කරමු. ඉදිරි වාමාංශික ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බරපතල ප්‍රශ්ණය වන්නේ ජා.මු.අ. කොන්දේසි වලට ජනතාව යටපත් නොකර ගමන් කිරීමයි. බටහිර ලෝකයේ ගිණිපොලිකාර ධනවතුන් විසින් මෙහෙය වන කුමන්ත්‍රණවලට මුහුණදීම තීරණාත්මක කරුණක් වන්නේය.  මෙකී සියලු පක්ෂ සංවිධාන එක්ව පුලුල්ම ජනතා බලවේගයක් ඒකරාශී කිරීම මෙම මහමැතිවරණයේ සිට සූදානම් කල යුතුය.
එබැවින් අපගේ අපේක්ෂකයින්ද ඇතුලුව දක්ෂිනාංශික මාවතට එක් නොවුනු සියලු වාමාංශිකයින්  පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ඔබ සැමගේ ඡන්දය ලබා දෙන ලෙසත්, අප තරඟ නොකරන ප්‍රදේශවල වාමාංශික අපේක්ෂකයින් දිනවීමට ඡන්දය ලබා දෙන ලෙසත් සියලු දෙනා වෙත සහෝදරත්වයෙන් ආයාචනය කරමු.
වාසුදේව නානායක්කාර
ලේකම් 
2024-10-16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *